ඖෂධවේදීන් අද වර්ජනයක
රැකියා විරහිතව ඖෂධවේදී උපාධිධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිට රැකියා පොරොත්තු ලේඛණයේ සිටියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මාස 09 ක පුහුණු කාලයක් සම්පූර්ණ කරන ලද ඖෂධ සංයෝජක කණ්ඩායමක 151 දෙනකු සේවයට බඳවා ගැනීමට එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටීම සම්බන්ධයෙන් විරෝධය දක්වා රජයේ ඖෂධවේදීන් අද (31 වැනිදා) දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වන විට ඖෂධවේදී තනතුරු 2,233 ක් පැවැතිය ද පුරප්පාඩු 300 කට අධික සංඛ්‍යාවක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
දැනට පවතින ඖෂධවේදීන් සංඛ්‍යාව ප්‍රමාණවත් වනුයේ ඉකුත් 2015 වසරට අනුකූලව බවත්, මේ වසරේ (2025) අලුතින් ආරම්භ කර ඇති රෝහල් සහ නව ඒකක හේතුවෙන් ඖෂධවේදී තනතුරු සංඛ්‍යාව 5,000 ක් දක්වා යාවත්කාලීන වියයුතු වුවත්, අදාළ සේවයේ නිරත වී සිටින්නේ ඖෂධවේදීන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් බව ද එම සංගමය කියයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පිරිනමන වසර 04 ක ඖෂධවේදි ගෞරව උපාධිය සම්පූර්ණ කළද ඖෂධවේදී උපාධිධාරීන් 1,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට රැකියා පොරොත්තු ලේඛණයේ රැඳී සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් 2020 වසරට පසුව මේ දක්වා උපාධිධාරී ඖෂධවේදීන් බඳවාගෙන නැතැයි ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම ඖෂධ සංයෝජකයන්ට පුහුණු කාලය තුළදී රජයේ බදු මුදලින් රුපියල් 40,000 ක දීමනාවක් ද ලබාදීමට නියමිත බව ද එම සංගමය කියයි.