උත්සව සමයේ මිල පාලනයට ආහාර කමිටුවෙන් සැලසුම්

උත්සව සමයේ මිල පාලනයට ආහාර කමිටුවෙන් සැලසුම්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

ඒ, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමට එක්වෙමිනි.

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති ගැනීමේ දී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ, එම දත්ත නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නොමැති බවයි.

ඒ හේතුවෙන් නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරිමට ඉහළ ප්‍රමුඛතාවල් ලබා දීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීම කෙරෙහි ද කමිටුවේ අවධානය යොමු විය.

මෙහිදී වී මිලදී ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ද කමිටුව සාකච්ඡා කළේ ය.

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම මෙහි අවධානයට ලක් වූ තවත් කරුණකි.

ඒ අනුව මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළෙඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර තිබේ.

ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයින්ට උපදෙස් ලබා දී ඇත.

විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් පිළිබඳව කමිටුව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේ ය.

COMMENTS