මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඇමති නිරුත්තර වෙයි

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඇමති නිරුත්තර වෙයි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

සිද්ධිය වාර්තාවීමත් සමග අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී ඔහු මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය – උසාවියක් ඇතුළේ මිනිස්සු මෙහෙම මැරෙද්දි කොහොම ද මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ ?

“ඊට අදාළ පියවර අරන් තියෙන්නේ. සියලු පුද්ගලයින් හඳුනාගෙන තියෙන්නේ. ඒකයි මේ බලන්න ආවේ”

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණි.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න ඔහුට එරෙහිව විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙනවිත් තිබුණි.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලීසියේ ආරක්ෂාව මධ්‍යයේය.

පසුව ඔහු රැගෙන ගොස් තිබුණේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළටයි.

එහි විත්තිකූඩුව තුළදීම ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවය.

වෙඩි ප්‍රහාරය සඳහා යොදාගත් රිවෝල්වරයද විත්ති කූඩුව අසළ දමාගොස් තිබියදී සොයාගැනුණි.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ ගණේමුල්ලේ කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියේය.

කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයාගේ පපුවට වෙඩිවැදී තිබූ බවය.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.

මේ වනවිට වෙඩි ප්‍රහාරය එල්ල කළ බව සැකකෙරෙන පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මිනිමැරුම්, කොල්ලකෑම, කප්පම් ලබාගැනීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ගණේමුල්ලේ සංජීව ඉකුත් 2023 වසරේ අත්අඩංගුවට ගැනුණේ විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදීය.

පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.