රත්නපුරට මැණික් කාර් මික ජනපදයක්

රත්නපුරට මැණික් කාර් මික ජනපදයක්

සෑම මැණික් ගලක්ම විකිණීමෙන් ලැබෙන සමස්ත ආදායම, ජාතික ආදායමට එක් කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා

එසේම මැණික් කර්මාන්තය සඳහා තාක්ෂණික සේවා සපයන මැණික් කාර්මික ජනපදයක් රත්නපුර ඉදිකිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහනට සහභාගි වෙමින්.

කොළඹින් බැහැරව ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම “ FACE TO FACE – MEET THE MINISTER ” වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

දහසකට ආසන්න මැණික් හා පතල් කර්මාන්තකරුවන් ඇතුළු අනෙකුත් කර්මාන්තවල යෙදෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් රැසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ වී කර්මාන්ත පවත්වාගෙන යාමේදී ඔවුන්ට ඇති වී තිබූ විවිධ ගැටලු රැසකට එකම වේදිකාවක් මතදී අමාත්‍යවරුන් ප්‍රමුඛ වගකිවයුතු නිලධාරීන් වෙතින් විසඳුම් ලබා ගත් බවයි කර්මාන්ත අමාත්යංශය නිවේදනය කලේ .

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී දිස්ත්‍රික්කයේ සිටින කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමේ ප්‍රායෝගික යාන්ත්‍රණයක් ලෙස සෑම දිස්ත්‍රික්කයක් සඳහාම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කර්මාන්ත ප්‍රවර්ධන සභාවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ චතුරංග අබේසිංහ මහතා වත්මන් රජය විසින් දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු ඉතා හොදින් හඳුනාගෙන තිබෙන අතර ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් එම ගැටලු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම මීට පෙර රාජ්‍ය ආයතන සියල්ල ඒකාබද්ධව පොදු අරමුණක් කරා කටයුතු කර නොතිබීම නිසා කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් රාජ්‍ය ආයතන මඟහැර කටයුතු කර ඇති බවත් එම තත්ත්වය මත රාජ්‍ය සහාය නොමැතිව කර්මාන්ත පවත්වාගෙන ගිය ව්‍යවසායකයින් විශාල පිරිසක් අතරමඟදී කඩා වැටීමට ලක් වූ බවත් සඳහන් කළා

මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් K.G.S. නිශාන්ත, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් E.K.A. සුනීතා, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අනිකුත් නිලධාරීන්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්වරු කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා

COMMENTS