සෙව්වන්දිගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරේ

සංජීව කුමාර ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ මව සහ සහෝදරයා රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් එම සැකකාරිය හා සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශය මෙම දැනුම්දීම සිදුකළා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වැඩි දුරටත් සඳහන් කළේ අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත්භාවයක් තිබූ බවත් ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.
මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් උසාවිය ළඟදී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා තිබූ බවත් පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මීගමුව, කටුවැල්ලේගම, ජය මාවත ලිපිනයේ පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති සහ 23 හැවිරිදි පින්පුර දේවගේ තිවංක වීරසිංහ යන අයයි.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා ඔවුන්ට එල්ල කර තිබෙනවා.
මව සහ සහෝදරයා මෙම ඝාතන සිදුවීමෙන් පසු ඔවුන් සිටි නිවස අත්හැර දමා ගොස් තිබුණු අතර, තමන්ට එල්ල වන මරණ තර්ජන හමුවේ නිවස අත්හැර දමා ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.