කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කරයි

කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගෙන, නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසැලෙහි හිමිකරුවෙකුට එරෙහිව දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගිය මස කොළඹ 12 , පරණ යොන් වීදියේ වැටලීමක් සිදු කර ඇති අතර එහිදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගෙන, නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පසුගිය මස 11 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙහි (අංක 5) නඩු පවරනු ලැබුවා.
අදාළ නඩුවේදී වෙළෙඳසැල් හිමිකරු සහ කළමනාකරු විසින් පෙබරවාරි මස 11 දින වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10000.00 බැගින් රුපියල් 20000.00 ක දඩ මුදලක් නියම කර ඇති බව සඳහන්.
එහිදී එම වෙළදසැලේ සගවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොල වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබුවා.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කළ අවස්ථාවක අදාළ වෙළෙඳසැල්හිමියා වැරදිකරු වුවහොත් ඊට අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි එම අධිකාරිය පැවසුවේ.
වෙළෙඳපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සගවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.