කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවනු ලැබීය.

මීට හේතු වූයේ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීමයි.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තා වුණි.

එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 4.16% ක හා 5.30% ක ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණි.

2020 අප්‍රේල් 30 දින කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම ක්‍රමවේදයට අනුව S&P SL20 දර්ශකයේ කඩා වැටීමේ ප්‍රමාණය අනුව තනි දිනක් තුළ අවස්ථා 3 කදී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවනු ලබන බව නිවේදනය කර සිටියේය.

එහිදී S&P SL20 දර්ශකය 5%ක ප්‍රමාණයකින් පහළ ගිය හොත් මිනිත්තු 30ක කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ලබන අතර ඉන් අනතුරුව ගනුදෙනු ආරම්භ වී තවත් 2.5% ක ප්‍රමාණයක් S&P SL20 දර්ශකය කඩා වැටුණහොත් තවත් මිනිත්තු 30ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවන් ලබනු ඇත.

ඒ අනුව දිනක් තුළ දෙවන වරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමක් සිදුවනුයේ සමස්තයක් ලෙස පෙර දිනය හා සැසඳීමේ දී 7.5%ක ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ ගොස් තිබෙන අවස්ථාවකදීය.

මේ අතර අදාළ දිනය තුළ තවත් 2.5%ක ප්‍රමාණයකින්, එනම් සමස්තයක් ලෙස දිනය තුළ 10%ක ප්‍රමාණයක් ඉක්මවා S&P SL20 දර්ශකය පහළ ගිය හොත් අදාළ දිනයට කොටස් වෙළෙඳපොළ වසා දමනු ඇත.

COMMENTS