ලංගම ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන ඇමති කියයි

මෙරට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාවෙන් ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලංගම ඩිපෝ 54ක් ලාභ ලබමින් පවතින බවය.
අලාභ ලබන ඩිපෝ 55 සඳහා නව ක්‍රියාමාර්ග රැසක් අනුගමන කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දුර්වල කළමනාකරුවන් ඉවත් කර දක්ෂ ඩිපෝ කළමනාකරුවන් පත් කිරීම, උපරිම කාලසටහන් ප්‍රමාණයක් ධාවනය කිරීම, බස් රථ ධාවන ප්‍රමාණය වැඩි කිරීම, මගීන් දැනුවත් කිරීම් මගින් වංචනික ක්‍රියාවන් අවම කිරීම, සේවක අභිප්‍රේරණය සඳහා වැටුප් සංශෝධනය කිරීම, සේවකයින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළු පැවැත්වීම, සෑම ඩිපෝවක් සඳහාම දෛනික ඉලක්ක ලබා දීම, බස් රථවල ඉන්ධන පරිභෝජනය ඵලදායි ලෙස කළමනාකරණය කිරීම, මිලදී ගන්නා භාණ්ඩවල ප්‍රමිතිය නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම, සෑම විටම ඩිපෝවේ වියදම් පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම, මාසික ගිණුම් පරිශීලනය කරමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ ඩිපෝවලින් අමතර ව්‍යාපාර කටයුතු සිදු කිරීම ආදී පියවර රැසක් සිදු කිරීමට මේ වන විට අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා මේ වන විට බස් රථ 7,137ක් පවතින බවත් ඉන් ධාවනයේ යෙදෙන බස් රථ ඇත්තේ 5,182ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පැවසුවේ බස් රථ 1,955ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවය.
එමෙන්ම ලංගමය සතු මුළු සේවක සංඛ්‍යාව මේ වන විට 25,384ක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.