ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම අඩු වෙයි

ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම අඩු වෙයි

රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවට ඔවුන් තමන් සතුව ඇති පැරණි රන් ආභරණ, නව රන් ආභරණවලට හුවමාරු කරගැනීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වාදුන් අන්‍යෝන්‍ය බදු හේතුවෙන් මතුවූ ගෝලීය ආර්ථික අස්ථාරවත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

එය දැක්වුණේ අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,245ක් ලෙසය.

ඉන්දියාව ලොව වැඩියෙන්ම රත්රන් ආභරණ පරිභෝජනය කරන රාජ්‍යයක් ලෙස සැලකේ.

පවතින තත්ත්වය හමුවේ ඉහළ ගිය රත්රන් මිල හේතුවෙන් ඉන්දීය ජනතාවත් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටය.

නව මිල ඉහළයාම හේතුවෙන් ඉන්දියාවේ රත්රන් ග්‍රෑම් 10ක මිල සටහන් වන්නේ ඉන්දීය රුපියල් ලක්ෂයක් ලෙසිනි.

මේ හේතුවෙන් නව රන් අබරණ මිලදීගැනීමට සඳහා පැරැණි රන් ආභරණ හුවමාරු කරගැනීමට ඉන්දීය ජනතාව කටයුතු කරමින් සිටී.

ඒ අතර ඉන්දීය ජනතාව පැරැණි රන් වළලු, මුදු සහ රත්රන් ආභරණ, රන් භාණ්ඩ නැවත අලෙවි කිරීම කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බවද වාර්තා වී තිබේ.

පසුව එම රන් ආභරණ දිය කර ක්ෂණිකව අලෙවි කළ හැකි රත්රන් කුට්ටි බවට පත්කිරීමට කඩ හිමියන් කටයුතු කරන බවත් වාර්තා වේ.

එමෙන්ම පාරිභෝගිකයින්ගේ කැපී පෙනෙන අඩුවක් පවතින බවත් රන් අලෙවිකරුවන් පවසයි.

ඉන්දියාව ලොව දෙවැනි වැඩිම රත්රන් පාරිභෝගිකයා වන අතර එම රත්රන් වැඩි වශයෙන්ම එනම් සියයට 70ක්ම යොදාගන්නේ රන් භාණ්ඩ නිපදවීම සඳහාය.

ලොව විශාලතම රත්රන් ඉල්ලුම්කරුවා වන්නේ චීනයයි.

COMMENTS