සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර නගරයේ අද සිට විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (17) සිට ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

ඒ හෙටින් (18) ඇරඹෙන සිරි දළදා වන්දනාව හේතුවෙන්.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ ඒ අනුව මහනුවර නගරයට රථවාහන ඇතුළු කිරීම අද (17) සිට ලබන 28 වැනිදා දක්වා සීමා කරන බවයි.

දළදා වන්දනාවට පැමිණෙන සැදැවතුන්ගේ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 6ක රථ ගාල් හඳුන්වා දී ඇති බවද පොලිිසිය පවසයි.

ඒ අනුව ගැටඹේ ක්‍රීඩාංගනය, ගන්නෝරුව මාර්ගය, කටුගස්තොට 4 කණුව, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමිය, රා කඩේ හන්දිය ධර්මාශෝක මාවත හා පී. ටී. රාජන් ක්‍රීඩාංගනයේ වාහන නවතා තැබීමට පහසුකම් සලසා තිබේ.

මීට අමතරව පල්ලෙකැලේ බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රීඩාගංනයේ හා ගුරුදෙණිය ප්‍රදේශයේදී සැදැවතුන් පැමිණෙන වාහන නවතා තැබීමට පහසුකම් සලසා ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මහනුවර නගරය හරහා ගමන් කරන වාහනවලටද විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවයි.

මේ අතර වාහනවලින් පැමිණෙන සැදැවතුන් දළදා මාළිගාව ආසන්නය තෙක් ප්‍රවාහනය සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ස්ථාන 07කින් එම බස් සේවාව ආරම්භ කරන බවයි.

මේ අතර පෞද්ගලික වාහන නවත්වන ස්ථානවල සිට මහනුවර නගරය දක්වා සැදැවතුන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ දුම්රිය දෙකක් ද ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ කඩුගන්නාව කටුගස්තොට හා ගම්පොල ප්‍රදේශ ආවරණය වන පරිදි එම විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි.

මීට අමතරව දිවයිනේ ප්‍රධාන නගර රැසක සිට හා කොළඹ සිට මහනුවර දක්වා විශේෂ බස් ගමන් වාර සංවිධාන කර ඇති බව ද ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

දෛනිකව කොළඹ සිට මහනුවරට යෙදවෙන අතිරේක දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 08ක්.

මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් පොදු පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළේ ය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් පැවසුවේ සිදුවතින් සැරසී මෙම දුලභ පිංකමට සහභාගි වන ලෙසයි.

COMMENTS