ඩොලර් හොයා ගන්න බැරි වුණොත් රටම අඳුරේ

මාස එක හමාරකින් පමණ තෙල් ගෙන ඒමට විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් රට පැය ගාණක අඳුරට යාමේ අවධානමක් තිබෙන බැවින් විදුලි බල සැපයුම පාලනය කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ යුතු බව බලශක්ති ඇමති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
දැන් සිටම විදුලිය කපා හැරීමක් සිදු කළහොත්, විදුලිය කපා හැරීමට සිදු වෙන්නේ දවසට පැය එකහමාරක් පමණක් බවත් පැය තුනක් වැනි කාලයක් විදුලිය අහිමි වීමකට වඩා ජනතාවට එය ඔරොත්තු දිය හැකි බවත් ඇමතිවරයා අවධාරණය කළේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (19) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
“දැන් පැය 24ම විදුලිය ලබා දීලා අපි සීමිත විදේශ විනිමය අවසන් කර ගත්තොත් , තව මාස එක හමාරකින් විතර තෙල් ගේන්න විදේශ විනිමය හොයා ගන්න බැරි වුණොත් රට පැය ගාණක අඳුරට යාමේ අවධානමක් තිබෙනවා. දැන් සිටම දවසකට විනාඩි 90 බැගින් දවසකට විදුලිය කපා හැරීමක් සිදු කළොත් වැසි උදාවන තුරුම දවසට පැය එකහමාරක් පමණක් විදුලිය කපා හැරීමක් සිදු වෙන්නේ. දිනකකට විනාඩි 90ක් කියන්නේ ජනතාවට අපහසුවෙන් වුවත් ඔරොත්තු දිය හැකි තත්ත්වයක් එක්වරම පැය තුනක වගේ විදුලිය අහිමි වීමකට වඩා”

