විදුලි කැපිල්ල අර්බුදයකට – අඟහරුවාදා සිට විදුලිය කැපෙයි

පවතින තත්ත්වය හමුවේ දැවි තෙල් තොග ප්‍රමාණවත් පරිදි නොලැබුණහොත් ලබන අඟහරුවාදා සිට යළිත් විදුලිය කප්පාදු කිරීමට සිදු වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ ඉන්ධන තොග සංචිත අවසන් වීම නිසා සපුගස්කන්ද විදුලි බලාගාරය සතියක් ඇතුළත ඊයේ දෙවන වරටත් වසා දැමුණා.
කෙසේ වෙතත්, විදුලි පරිභෝජනය අවම කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කළේ.
දැවි තෙල් තොග අවසන් වීම නිසා සපුගස්කන්ද විදුලි බලාගාරය පසුගිය 17 වනදා ද වසා දැමුණා.
එහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් එම බලාගාරයට දැවි තෙල් මෙටි්රක් ටොන් 900ක් ලබාදීමත් සමඟ එදින පස්වරුව වනවිට එහි විදුලි උත්පාදනය යළි ආරම්භ කිරීමටයි පියවර ගැණුනේ.
එහෙත් එම ඉන්ධන තොග ද අවසන් වීම නිසා අද පස්වරුවේ සිට සපුගස්කන්ද විදුලි බලාගාරයේ උත්පාදන කටයුතු යළිත් වරක් මුළුමනින්ම අක්‍රිය වුණා.
කෙසේ නමුත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඊයේ පැවසුවේ විදුලිබල මණ්ඩලය පෙර කළ දැනුම්දීමට අනුව සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවි තෙල් ලබාදිය හැක්කේ පෙබරවාරි මාසයේ සිට බවයි.
මේ අතර, අද පැවති මාධ්‍ය හමුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා ප්‍රකාශ කළේ දැවි තෙල් නොලැබුණහොත් අඟහරුවාදා සිට විදුලිය කප්පාදුවක් සිදුකිරීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් අද සහ හෙට දිනවල විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසුවේ.

