ජිවිත 91ක් බිලිගත් මහා බැංකු ප්‍රහාරයට වසර 26යි

ජිවිත 91ක් බිලිගත් මහා බැංකු ප්‍රහාරයට වසර 26යි

මීට වසර 26කට පෙර අද වගේ දිනක සිදුවුයේ කුමක්ද ?

1996 ජනවාරි 31 පෙරවරු 10යි 47ට පමණ කොළඹ නගරය තවත් එක් සාමාන්‍ය දිනයක් බවට පත් වෙමින් තිබුණා.

කුරිරූ ත්‍රස්තවාදය එදා සමාජය වෙලා ගෙන තිබුණත්, ජනතාව ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස එදිනෙදා කටයුතු වල නියැලී සිටියා.

හිත් පිත් නැති ලේ පිපාසිත LTTE ත්‍රස්තවාදීන් කොළඹ නගරයේ මීටර ගනණාවෙන් ගණනාවට ස්ථාපිත කර තිබූ ආරක්ෂක කපොලු මග හරිමින් මේ පිරිස බොහෝම සූක්ෂ්ම ලෙස ඔවුන්ගේ ඉලක්කය දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.

මෙම කුරිරු ත්‍රස්තවාදීන්ගේ මෙවර ඉලක්කය වී තිබුණේ මෙරට ආර්ථික හදවත වන මහ බැංකුව යි.

කොළඹ පිහිටි, ආර්ථික මරමස්ථානයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගේට්ටුව වෙත වේගයෙන් පැමිණි, කිලෝ ග්රෑම් 200 ක පමණ පුපුරණද්‍රව්‍ය තොගයක් පටවාගත් ට්‍රක් රථයක් මහ බැංකු ගොඩනැගිල්ල තුලට ධාවනය කිරීමට උත්සාහ කරන ලදී.

නමුත් ගොඩනැගිල්ල ඉදිරිපසින් සවිකොට තිබූ නව යකඩ වැටක් හේතුවෙන් රථය ගොඩනැගිල්ල තුලට ධාවනය කරවාගෙන යාමට රියදුරුට අවස්ථාව නොලැබුණු අතර, රථය කිහිප විටක් වේගයෙන් වැටෙහි හප්පවා එය බිඳීමට කල උත්සාහයද අසාර්ථක වූ නිසා බෝම්බකරු විසින් එම ස්ථානයේදී පුපුරණද්‍රව්‍ය තොගය සහිත ට්‍රක් රථය පුපුරුවා හැරීම සිදු කරන ලදී.

ප්‍රහාරය නිසා මහ බැංකු ගොඩනැගිල්ලට දැඩි විනාශයක් සිදුවූ අතර, අසල පිහිටි ප්‍රධාන ගොඩනැගිලි අටකටද දැඩි අලාභහානි සිදුවිය.බෝම්බ පටවා ගත් රථය පසුපසින්, ත්‍රීවිල් රථයකින් පැමිණි තවත් කොටි ත්‍රස්ථ සාමාජිකයින් දෙදෙනෙකු, ස්වයංක්‍රීය රයිපලයකින් සහ රොකට් විදිනයකින් (RPG) සන්නද්ධව පැමිණ මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන ලදී.

මෙම දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් ජීවිත 91 මරු වැළඳගත් අතර තවත් 1,400 කට තුවාල සිදුවිය. මීට අමතරව ප්‍රහාරයේ බලපෑම නිසා 100 කට තරම් පිරිසකගේ දෘෂ්‍ය පෙනීමට හානි සිදුවිය.තුවාල ලැබූ පිරිස අතර අමෙරිකානුවන් දෙදෙනෙක්, ජපන් ජාතිකයන් සය දෙනෙක් සහ, ලන්දේසි ජාතිකයෙක්ද වූහ. ප්‍රහාරයෙන් විපතට ලක්වූ බොහෝ දෙනෙකු බැංකුව අසල සිටි සාමාන්‍ය ජනතාව විය.

පුපුරණද්‍රව්‍ය සහිත රථය පුපුරුවා හැරීම සිදුකල රාජු නැමැත්තා එවෙලේම මරණයට පත්වූ අතර, පසුපසින් ත්‍රීවිල් රථයක නැගි ආ සුබ්‍රමණියම් විග්නේශ්වරම් සහ, සිවසාමී ධර්මේන්ද්‍ර යන අය, ජනතාවගෙන් ලත් තොරතුරු මත ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලදී.

පොලීසිය සහ ආරක්ෂක අංශ මෙම ත්‍රස්ථවාදී සිදුවීමට සම්බන්ධ පිරිස් සොයා තව දුරටත් පරික්ෂණ පැවැත්වූ අතර, ප්‍රහාරය සිදු කල ප්‍රධාන බෝම්බකරු යාපනය සිට පැමිණි අයෙක් බවට හෙළි කර ගන්නා ලදී.

දෙමළ කොටි ත්‍රස්ථවාදීන් තිදෙනෙකු විසින් මූලික ප්‍රහාරය දියත් කිරීම සිදුකල අතර, ඉන් එක් අයෙක් ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදීම ජීවිත්ක්ෂයට පත්විය. ඉතිරි ත්‍රස්ථවාදීන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

  • රාජු – ප්‍රධාන බෝම්බකරු
  • සුබ්‍රමනියම් විග්නේශ්වරම් හෙවත් කිට්ටු
  • සිවසාමි ධර්මේන්ද්‍ර හෙවත් රාජු

බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ එකෙළොස් දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඉන් දසදෙනෙකුම ගොනුකරන ලද චෝදනා 712 කට අධිචූදිතයෝ වූහ. ගොනු කරන ලද චෝදනා අතර ඝාතන සිදු කිරීමේ අරමුණු සහිත වීම, ඝාතන සිදු කිරීම, රජයේ දෙපල විනාශ කිරීම, සහ ගැටුම් උත්සන්න කිරීම යන ඒවා විය.

2002 වසරේදී විනිසුරු සරත් අඹේපිටිය මහතා විසින්, එල්ටීටීඊ ත්‍රස්ථ නායක, වේළුපිල්ලේ ප‍්‍රභාකරන්, 1996 මහ බැංකු බෝම්බය සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී.ගොනු කරන ලද චෝදනා 51 කට වැරදිකරු වූ ප්‍රභාකරන් හට, විනිසුරුවරයා විසින් වසර 200 ක සිර දඬුවම් තීන්දුවක්ද නියම කරන ලදී.

මහා බැංකු ඛේදවාචකය වෙලා වසර 26ක් ගිහින්, කෙසේ වෙතත් අප සියලු දෙනාගේම පැතුම නම් නැවතත් මේ භූමිය තුල මෙවැනි සිදුවීම් නොවේවා යන්නයි.