රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි

තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ට ද චෝදනා එල්ලවී තිබේ.

මේ අතර, රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 6 දෙනා මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, ඔවුන් අද දහවල් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥයෙකු මාර්ගයෙන් රාගම පොලීසියට භාරවීමෙන් පසුවයි.

අත්අඩංගුවට ගත් අනෙක් 5 දෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවෙකු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පෙරේදා (01) රාත්‍රියේ සිදු කළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

මෝටර් රථ කිහිපයකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ එහි පැමිණ මෙම පහරදීම සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.

පහරදීම සඳහා පිරිස පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් එක් මෝටර් රථයක් සිසුන් විසින් නේවාසිකාගාර භූමිය තුළ රඳවා තබාගෙන තිබූ අතර, පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ මෝටර් රථය තම භාරයට ගනු ලැබුවා.

පහරදීමට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් ද නේවාසිකාගාර පරිශ්‍රයේ තිබී හමු වූ අතර එම හැඳුනුම්පතට අනුව අදළ පුද්ගලයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ලිපියක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ සිව්වැනි සහ තෙවැනි වසර පීඨයේ ශිෂ්‍ය අර්බුදයක් බවත්, සිව්වැනි වසර විසින් තෙවැනි වසර කණ්ඩායමට උපදෙස් ලබාදීමට උරණ වී මෙම පහරදීම දේශපාලන හස්තයක මැදිහත් වීමෙන් යුතුව සිදු කෙරුණු බවයි.

කෙසේවෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා වැරදිකරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම විමර්ශනයක් අරඹන ලෙසට ද ඊයේ (02) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර උපදෙස් ලබා දුන්නා.