රට මුහුණ දෙන ඕනෑම අභියෝගයකට නායකත්වය දෙන්න මම සූදානම් (වීඩියෝ)

රට මුහුණ දෙන ඕනෑම අභියෝගයකට නායකත්වය දෙන්න මම සූදානම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා.
ඒ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින්.
රටක නායකයෙකුට බොහෝ දුෂ්කරතා, විපත්, ගැටලු හා අභියෝගවලට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙයවීම පහසු නැහැ. කෙතරම් හොඳ අරමුණක් වෙනුවෙන් වුවත් පවතින ක්‍රමවේදයන් වෙනස් කිරීම පහසු නැහැ. යම් කාරණාවලදී දේශීය මෙන් ම විදේශීය බලවේගත් අපට එරෙහි ව සංවිධානය වෙනවා. සමහර විට ඔබ අවට සිදු වෙන සෑම දෙයක් ම ඔබට එරෙහි ව සිදු වන කුමන්ත්‍රණයක් මෙන් පෙනෙන අවස්ථා තිබෙනවා.
ජනතාව නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කර ගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්‍රශ්නවලින් පළා යාම නො වෙයි. ඒ සඳහා අවශ්‍ය කරන ධනාත්මක මානසිකත්වය අප සතුව තිබෙනවා. රට මුහුණ දෙන ඕනෑ ම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය කරන නායකත්වය ලබා දීමට මම හැමවිට ම සූදානම්.
ලෝකය වෙනස් කළේත්, වෙනස් කරන්නේත් ධනාත්මක අදහස් තිබෙන, අනාගතය දෙස සුබවාදීව සිහින දැක ඒවා සාක්ෂාත් කර ගන්නට උත්සාහ කළ පුද්ගලයන් විසිනුයි. මේ බව ඉතිහාසය පුරාම අපට පෙනෙනවා.
සෑම දියුණු රටක ම සමාජ ප්රගමනයට හේතු වූයේ ඒ රටවල නායකයන්ගේ හා ජනතාවගේ තිබුණ සුබවාදී අදහසුයි.
දුෂ්කර කාල හැමදාමත් ඒ ලෙස ම පවතින්නේ නැහැ. දුෂ්කර කාලවලට මුහුණ දීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටන කිසිවෙක් මේ අවස්ථාවේ සමාජයට කරන්නේ උපකාරයක් නොවෙයි. ඒ නිසා අපි සියලු දෙනාට ම විශාල වගකීමක් තිබෙනවා, මේ අර්බුදයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ධනාත්මක චින්තනය රට තුළ ගොඩනඟන්නට.
මෑතකාලීන ඉතිහාසයේත් අපි බරපතළ ගැටලුවලට මුහුණ දී ඒවාට විසඳුම් සොයා ගෙන තිබෙනවා. ත්‍රස්තවාදය කිසි විටක යුද්ධයකින් පරාජය කළ නො හැකි ය කියා එදා සර්ව අසුබවාදීන් දිගින් දිගට ම කියද්දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න වැනි අභීත හමුදා නායකයන් ත්‍රස්තවාදය පරාජය කළ හැකි ය යන ධනාත්මක චින්තනය ඔවුන් යටතේ සටන් කළ හමුදා නිලධාරීන්ට කා වැද්දුවා. පසුකාලීනව නිවැරදි දේශපාලන නායකත්වයක් යටතේ වසර 3 1/2 ක වැනි කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම පරාජය කරන්නට අපට හැකි වුණේ අපේ හැකියාවන් ගැන අප තුළ තිබූ විශ්වාසය නිසායි.
අප වර්තමානයේ මුහුණ දෙන අර්බුද කිසිවක් දීර්ඝකාලීන ගැටලු නො වෙයි. සුබවාදී ප්රවේශයකින් අපට මේ ගැටලුවලට පිළිතුරු සොයන්නට පුළුවන්. නමුත් ඒ වැඩපිළිවෙළ ඉක්මන් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුට ම කළ හැකි වැඩ කොටසක් තිබෙනවා. තම වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් අපි සියලු දෙනාම රට වෙනුවෙන් අපේ උපරිම දායකත්වය ලබා දෙන්නට උත්සාහ කළ යුතුයි.

