ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ඉදිරි ණය වගකීම් පියවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව ස්වෛරිත්ව ණය ගෙවීම් පැහැර හැරීමක් අභියස සිටින බවට පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලද විශ්වාසනීය නිල දත්ත තිබියදීත්, මෙලෙස සාවද්‍ය තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටු වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

2022 ජූලි මාසයේ දී කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 1 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ඇතුළු ඉදිරි ණය බැඳීම් සපුරාලීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සහ විවිධ විකල්ප ක්‍රමවේදයන් ගණනාවක් හරහා විදේශ විනිමය සංචිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මහබැංකුව මෙම නිවේදනය හරහා අවධාරණය කරනවා.

එබැවින්, ඉදිරියේ දී කල් පිරීමට නියමිත සියලුම ණය බැඳීම්වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා එමගින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවා වාර්තාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට රජය සහ මහබැංකුව කැපවී සිටින බවට දේශීය හා ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාවට සහතික වන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.