ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ වර්තමාන විස්සයි විස්ස ලෝක ශූර ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11 වැනිදා) ප.ව. 1.30ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහභාගි වන පළමු විස්සයි විස්ස තරගය මෙය වන අතර ඔවුන් ඔස්ට්‍රේලියා තරග සංචාරයක නිරත වන්නේ වසර දෙකහමාරකට පසුවය. ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් අවසන් වරට 2019 වසරේ පැවැති තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3-0කින් පරාජය විය.

දෙරට අතර මේ දක්වා පවත්වා තිබෙන විස්සයි විස්ස තරග 17කදී ශ්‍රී ලංකාව තරග 08කුත්, ඔස්ට්‍රේලියාව තරග 09කුත් වශයෙන් ජයගෙන තිබේ. ඒ අතරින් ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති තරග 9කදී ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 5කි. ඉකුත් ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී හමු වූ අවස්ථාවද ඇතුළුව දෙරට අතර අවසන් වරට පැවැති විස්සයි විස්ස තරග පහම ඔස්ට්‍රේලියාව විසින් ජයගෙන තිබීමද විශේෂත්වයකි.

ඒ කෙසේ වෙතත් අද තරගයේ ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම

ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු

ඔස්ට්‍රේලියානු කණ්ඩායම

බෙන් මැක්ඩර්මෝට්, එරන් ෆින්ච් (නායක), ජෝෂ් ඉන්ග්ලිස්, ස්ටීව් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක්, ඇඩම් සම්පා, ජෝෂ් හස්ලිවුඩ්