සුපිරි වාහන වෙන්දේසිය ඉහළින් ලැබුණු නියෝගයෙන් නතරවෙයි

සුපිරි වාහන වෙන්දේසිය ඉහළින් ලැබුණු නියෝගයෙන් නතරවෙයි

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද අති සුඛෝපභෝගි වාහන කීපයක් ශ්‍රී ලංකා රේගුව මගින් වෙන්දේසි කිරීමට කටයුතු කර තිබියදී අවසන් මොහොතේදී ඉහළින් ලැබුණු නියෝගයක් මත වෙන්දේසිය අත්හිටුවා තිබේ. ලැම්බෝගිනි රථයක්, ජගුවර්, රෝල්ස් රෝයිස්, මර්සිඩීස් බෙන්ස් සහ හමර් වර්ගයේ රථ පසුගිය බ්‍රහස්පතින්දා මෙසේ වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා රේගුව සූදානම්ව සිට ඇත. අවසන් මොහොතේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී රවිප්‍රියගේ නියෝගයක් මත මෙම වෙන්දේසිය අවලංගු කර තිබේ.

මෙම වාහන නීති විරෝධීව මෙරටට ආනයනය කර ඇති අතර තවමත් අයිතිකරුවකු සොයාගෙන නැත. මෙම සමහර වාහනවල කොටස් පවා අතුරුදන්ව ඇත. රජය මඟින් මෙරටට වාහන ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස කීපය තුළ එම වාහන ගෙන්වා ඇතැයි රේගු ආරංචි මාර්ග පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා පවසන්නේ ටෙන්ඩර් ක්‍රමවේදය අනුව මෙවැනි නීති විරෝධී වාහන වෙන්දේසි කිරීම සඳහා රේගුවට බලය ඇති බවයි. මෙවැනි වෙන්දේසි පැවැත්වීමටත් ඒවා අවලංගු කිරීමටත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.