ඉදිරි පැය 24 යුක්රේනයට තීරණාත්මකයි – ඇමරිකානු පුරවැසියන්ටත් නිවේදනයක්

ඉදිරි පැය 24 තම රටට ඉතාමත් තීරණාත්මක බව යුක්රේන ජනාධිපති සෙලන්කි සදහන් කරනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග පැවති දුරකතන සංවාදයක් අතරතුරදීයි යුක්රේන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ.
යුක්රේනයේ නගර රැසක් ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන රුසියා මිසයිල ප්‍රහාර දැඩි කිරීමට රුසියා හමුදාව පියවර ගෙන තිබෙනවා.
ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේන හමුදාවට දැඩි බලපෑම් සිදු වූ බවයි යුක්රේන හමුදා ප්‍රකාශකවරයෙකු සදහන් කරන්නේ. මේ අතර රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමත් සමග රුසියාවේ මුදල් ඒකකය වන රූබල් සියයට තිහකින් පමණ පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
යුක්රේන රුසියා යුද ගැටුම් සම්බන්ධයෙන් ජගත් සංවිධානයේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයක්ද අද පැවැත්වීමට නියමිතයි.
මේ අතර හැකි වහා ම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ වන විට රුසියානු ගුවන් සේවාවන්ට ලොව බොහෝ රටවල් සිය ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් කර තිබීම හේතුවෙන් ඉදිරියේ දී රුසියාවෙන් පිටතට යාම අතිශය දුෂ්කර කරුණක් විය හැකියි බවයි.
ඒ හේතුවෙන් මේ වන විටත් ක්‍රියාත්මක වන වාණිජ ගුවන් සේවාවන් භාවිත කරමින් වහා ම ඒ රටින් පිටවීමට අවකාශ සලසා ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාවේ රැඳී සිටින එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
පවතින වාණිජ විකල්ප ගුවන් සේවාවන් හරහා වහා ම රුසියාවෙන් පිටවීම ගැන සලකා බැලිය යුතුය, යනුවෙන් මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවියේ පෙබරවාරි 27 දින ආරක්ෂක අනතුරු ඇඟවීමේ සටහන් කර තිබුණා.

