පුළුවන්නම් ඡන්දයක් තියන්න, ලාල් කාන්තගෙන් ආණ්ඩුවට අභියෝගයක්

පුළුවන්නම් ඡන්දයක් තියන්න, ලාල් කාන්තගෙන් ආණ්ඩුවට අභියෝගයක්

රාජපක්ෂලාට අභියෝග කරනවා පුළුවන්නම් ඡන්දයක් තියන්න කියලා – ජාතික ජන බලවේගයේ විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පවසයි

ජාතික ජන බලවේගය පවත්වන මහජන රැලි මාලාවක මංගල රැලිය පසුගිය (26) තංගල්ලේදී පැවැත්වීය. එම ජනතා ව්‍යාපාරයේ නායක අනුර දිසානායක ඇතුළු ජාතික විධායක සභිකයින් රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර අති විශාල ජන සහභාගිත්වයක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහිදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත දැක්වූ අදහස්,

“මේ වෙලාවේ ලෝකය පුරාම ජනතාව බලා ඉන්නේ යුක්රේනය සහ රුසියාව දිහා. අපේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්නේ කවද්ද කියලා. මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ බව ජාතික ජන බලවේගයේ අපි අභිමානයෙන් කියන්න කැමතියි. මේ ජනාධිපතිවරයා බලයට පත්වුණේ 2019 දී. මේ ආණ්ඩුව බලයට පත්වුණෙත් 2020 අගෝස්තු මාසයේදී. මේ ආණ්ඩුව ඉක්මනින්ම ජනතාවට එපා වුණු නිසා ගෙදර යවන අරගලය අපි 2021 අගෝස්තු පළවැනිදා ආරම්භ කළා. ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ ආණ්ඩුව පෙරළලා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනගන්න සූදානම් කියලා අපි රටට ප්‍රකාශයක් කළා.

ඊට පස්සේ කට්ටිය එක එක කතා කියන්න පටන් ගත්තා. ඒ කතාවලට අභියෝග කරමින් අපේ මිත්‍රයින්ටත් සතුරන්ටත් දෙගොල්ලන්ටම දැනගන්න 2021 දෙසැම්බර් 20 වැනිදා කොළඹදී සමුළුවක් තියලා ජාතික ජන බලවේගයේ රට ගොඩනඟන වැඩපිළිවෙළත්, 73දෙනෙකුගේ නායක මණ්ඩලයත් රටට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඇහුව්වා දිස්ත්‍රික්කවල නායකයන් කෝ කියලා. අපි ජනවාරි මාසයේ 5වැනිදා මහනුවර දිස්ත්‍රික් සමුළුවක් තියලා 37දෙනෙකුගේ නායක මණ්ඩලයක් පතකර ගත්තා. ඉන්පස්සේ සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් නායකත්වය ජනතාවට ඉදිරිපත් කරමින් දිස්ත්‍රික් සමුළු පවත්වනවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කරන එන්පීපී සභා හදන වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරමින් යනවා. තවත් අදියරක් හැටියට තංගල්ල නගරයේදී අද මේ ජන බල රැලිය පවත්වනවා. අපි වටා එකතුවෙන්න සූදානම් සියලුම ජනයාට දොරටු විවෘත් කරමින් මේ රැලිය පවත්වනවා. ජාතික ජන බලවේගය වටා ජනතාව පෙළ ගැසෙන ආකාරය අතුරු සිදුරු නැතිව පිරී යන මේ ජනකායෙන් පේනවා.”යනුවෙන් පැවසීය.