සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරතුර යුක්‍රේනයට දරුණු ප්‍රහාර

යුක්‍රේනය සහ රුසියාව අතර පැවති සාකච්ඡා අවසන් විසඳුමක් නොමැතිව නිමාවට පත් වී තිබෙනවා.
ගැටුම අවසන් කිරීම සඳහා යුක්රේන සහ රුසියානු බලධාරීන් බෙලරුස්හි දී සාකච්ඡාවලට එක්වුණා.
එහිදී දෙපාර්ශ්වයම තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ නැවත ඔවුන් හමුවීමට නියමිතව ඇති බවයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර දෙපාර්ශ්වය සාකච්ඡා සඳහා රැස්වීමට පෙර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු හමුදාවලින් ඉල්ලා සිටියේ ආයුධ බිම තබන ලෙසටයි.
කෙසේවෙතත් ඊට රුසියාවෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූයේ නැහැ..
රුසියානු හමුදා යුක්‍රේන ආක්‍රමණය සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසට යොදාගත්, රුසියාවේ සමීප ශක්තිමත් මිත්‍ර රටක් ද වන බෙලරූස් දේශ සීමාවේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණා.
යුක්‍රේන මෙම සාකච්ඡාවල දී ප්‍රකාශ කර තිබුණේ වහාම සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ රුසියානු හමුදා තම රටින් ඉවත් කර ගැනීමට අවශ්‍ය බවයි.
එමෙන්ම කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය තම රටට ලබාදෙන ලෙසට ද ඔහු ඉල්ලීමක් කර තිබුණා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දෙවන වටයේ සාකච්ඡාවලට පෙර රටවල් දෙකෙහිම නියෝජිතයන් ඉහළ නිලධාරීන්ගේ වැඩිදුර උපදෙස් සඳහා තම තමන්ගේ අගනුවර වෙත පිටත්ව යාමත් සමඟ සාකච්ඡා අවසන් වූ බවයි යුක්‍රේන ජනාධිපති උපදේශක මයිහයිලෝ පොඩොල්යාක් උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති ආයතන වාර්තා කළේ.
මේ අතර යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තම මිත්‍ර රටවල ජනාධිපතිවරුන් සමඟ දුරකතන මාර්ගයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව අනාවරණය වනවා.
කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි, ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග්, පෝලන්තයේ ජනාධිපති Andrzej Duda, රුමේනියානු ජනාධිපති Klaus Ihannis සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මීට එක්ව ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් හෙළි වී නැහැ.
මේ අතර රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුගිය බ්‍රහස්පතින්දා සිය නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කළ යුක්රේන ආරක්ෂක භට පිරිසක් රුසියානු හමුදා විසින් සමූළ ඝාතනය කළ බවට තොරතුරු වාර්තා වුණා.
කෙසේවෙතත් යුක්රේන නාවික හමුදාව පවසන්නේ පළමු දිනයේ Zmiinyi (Snake) දූපත ආරක්ෂා කරමින් සිටියදී ඝාතනය කළ බවට සැලකෙන සොල්දාදුවන් 13 දෙනා ජීවතුන් අතර සිටින බවයි.
මෙම දේශසීමා ආරක්ෂකයින් මියගොස් ඇති බවට වාර්තා වීම හමුවේ යුක්රේන ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ගෞරව පුද කිරීමට ද කටයුතු කරනු ලැබුවා.
කෙසේවෙතත් ඊයේ (28) සඳුදා දින, යුක්රේන නාවික හමුදාව ෆේස්බුක් සටහනක් මගින් තහවුරු කළේ “අපේ සහෝදරයන් ජීවතුන් අතර සහ හොඳින්” යනුවෙන්.
අදාළ දිවයිනේ සිටි දේශසීමා ආරක්ෂකයින් සහ නාවික භටයින් අවස්ථා දෙකකදී නිර්භීතව රුසියානු ආක්‍රමණිකයින්ගේ ප්‍රහාර මැඩපවත්වා ඇති අතර ඔවුන් සතුව තිබූ උණ්ඩ අවසන් වීම හමුවේ අඛණ්ඩව සටන් කිරීමට නොහැකි වී ඇති බව එම සටහනේ සඳහන් වනවා.
රුසියානු හමුදා ප්‍රදීපාගාර කුළුණු, ඇන්ටෙනා ඇතුළු එම දිවයිනේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන් විනාශ කර දැමූ අතර ප්‍රධාන පාලක මධ්‍යස්ථාන සමඟ සන්නිවේදන සබඳතා විසන්ධි කළ බව එහි වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම ප්‍රහාරයෙන් පසු යුක්රේන රජය විසින් මානුෂීය මෙහෙයුමක් සඳහා අදාළ දිවයිනට එවූ සෝදිසි සහ ගලවා ගැනීමේ නෞකාවක කාර්ය මණ්ඩලය රුසියානු හමුදා නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටින බවට යුක්රේන නාවික හමුදාව චෝදනා කරනවා.
මේ අතර යුක්රේනයේ දෙවන නගරය වන Kharkiv වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරවලින් විශාල පිරිසක් මිය ගිය බව යුක්‍රේන බලධාරීන් පවසනවා.
තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි යුක්රේන අභ්‍යන්තර අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර ඇත්තේ.
රුසියානු ආක්‍රමණයේ පස්වන දිනයේදී මෙම ප්‍රහාරය එල්ල වූයේ දෙපාර්ශ්වයේම නියෝජිතයන් බෙලරූස් හි දී සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවේ දී වීම විශේෂත්වයක්.
රුසියාව යුක්රේනයට පෙරමුණු කිහිපයකින් පහර දෙමින් සිටිය ද යුක්‍රේන ප්‍රතිප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදාවල ගමන මන්දගාමී වී තිබෙනවා.
සමාජ මාධ්‍යවල හුවමාරු වන ඇතැම් වීඩියෝවල කාර්කිව් වෙත රොකට් ප්‍රහාර එල්ලවන ආකාරය දක්නට ලැබෙනවා.
ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයින් ප්‍රකාශ කළේ නාගරික ප්‍රදේශවලට පොකුරු බෝම්බ ප්‍රහාර ද එල්ල කර ඇති බවටයි.
කෙසේවෙතත් ජනාකීර්ණ ප්‍රදේශවලට පහරදෙන බවට එල්ල වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරනවා.
රුසියාවේ මෙම ප්‍රහාරය හෙළා දැකීම සඳහා එක් වූ බටහිර රටවල් සම්බාධක මාලාවකින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ රුසියාව ඉතා හුදකලා තත්ත්වයකට සහ ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
එවැනි තත්ත්වයක් මත වුව ද රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ ආක්‍රමණය පිළිබඳ යළි සිතා බැලීමට සූදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

