ඉන්ධන මිල වැඩි වුනා කියලා කිසිම වාහනයක් අඩුවෙන් පැදලා නෑ

ඉන්ධන මිල වැඩි වුනා කියලා කිසිම වාහනයක් අඩුවෙන් පැදලා නෑ

ලංකාවේ පළලම පාලම වන පාමංකඩ මංසන්දියේ ඉදිවන පාලමේ වැඩ අප්‍රේල් වන විට අවසන් කරනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකරන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබා දෙන නව නිවාස වල යතුරු භාර දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා…

අද කන්නවත් නෑ කියනවා, ඉන්ධන නැහැ කියනවා, විදුලිය කපනවා කියලා විපක්ෂය චෝදනා කරනවා යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

කන්න නැති තත්වයක් මේ රටේ නෑ. අපි ඒක පිළිගන්න ඕනෙ. ඉන්ධන මිල මෑතක වැඩි උනා. කිසිම වාහනයක් අඩුවෙන් ධාවනය වෙනවා ඔබ දැකලා තියෙනවද? අවුරුදු එක හමාරක් තමන් ගෙවල්වලට හිරවෙලා හිටියා කියලා ජනතාව දන්නවා.

ඒ කාලේ කරගන්න බැරි වුණ රටේ ආර්ථිකය සහ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ජනතාව තමන්ගේ මුළු ශක්තියම යොදවලා ලොකු කැපවීමක් කරනවා. අපි පිළිගන්න ඕනෙ අද සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා.

නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් වෙන්නේ මේ යුගයේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ වැඩියෙන්ම මාර්ග හැදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ.

පුද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අද ඊටත් වැඩිය හැදෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. ඒ නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. විපක්ෂයට මේ දේවල් ඇහේ කටු අනිනවා වගේ. පාරක් හැදෙනවා දකිද්දී ඔවුන් හරියට දුක් වෙනවා ඔවුන්ගේ කාලේ කරන්න බැරි උන එක ගැන. පාලමක් හැදෙනවා දකිද්දී ඔවුන්ට හරි දුකක් ඇති වෙනවා අපිට‍ මේක කරගන්න බැරි වුණා කියලා.

අපිට‍ ආණ්ඩුවකුත් හම්බවෙලා මහින්ද මහත්මයාට මඩ ගහල ගහලා, බොරු කියලා කියලා ආණ්ඩුව අරගෙන, මහින්ද මහත්තය හදලා දුන්න චීනෙට විතරක් දෙවැනි වෙච්ච ආර්ථික වර්ධන වේගය තියාගන්න බැරිවෙලා අනිත් පැත්තට මේක කැරකුනා. කොහොමද දේශපාලනයවත් නොකරපු ගෝඨාභය ජනාධිපතිතුමා ඇවිල්ලා මේ හැමදේම කරන්නේ කොහොමද කියලා ඔවුන්ට හරි දුකක් තියෙනවා. ඒක ගැන අපි පුදුම වෙන්නේ නෑ.

ඒ හින්දා ඒ ගොල්ලෝ අධිවේගී මාර්ගයක් හැදුවම අහනවා කන්නද කියලා. ඒ අය අධිවේගී මාර්ග හදාගත්තේ ඒ අයගේ බඩවල් පුරවා ගන්න. හැබැයි අපි හදන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය සඳහා. ඒ නිසා අපි පුදුම වෙන්නේ නෑ. දැන් කියනවානේ අධිවේගී මාර්ග කන්නද? මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියලා.

ඡන්දේට ගියාම මේ ගොල්ලෝ මොනවාද කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ආව, කොවිඩ් කොවිඩ් කියලා මොකුත් කළේ නෑ. ඒ නිසා අපිට‍ බලය දෙන්න, අපි හිටිය නම් මෙහෙමයි කියලා. අපි රජය ගන්න සුදානම් කියලා ඊයේ පෙරේදා කියනවා මම දැක්කා. කවුද මේ සුදානම් කට්ටිය? මේ සුදානම් කට්ටිය තමයි මේ රට කාපු,

මේ රට විනාශ කරපු, මහ බැංකුව හොරා කාපු, රටේ ආර්ථිකය අනිත් පැත්තට කණපිට පෙරලපු, රටේ ජාතික ආරක්ෂාව නැති කරලා රටේ අහිංසක මිනිස්සු මැරෙන්න අතහැරපු කල්ලියක් තමයි අද කියන්නේ අපි හිටියා නම් මීට වඩා හොදයි කියලා. එයාල හිටියනේ. ඒ අයනේ මේක විනාශ කෙරුවේ.දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ කොවිඩ් තියෙද්දිත් විනාශ කරපු ආර්ථිකය නැවත වරක් ගොඩ නගන්නනේ. ප්‍රේමදාස මහත්මයාගේ කල්ලිය නායකයෝ එක්ක එකට ඉඳලා නායකයෝ එක්ක එකට හොරකම් කරලා මීයෝ ටික වගේ නායකයෝ අතෑරලා පැනලා ඒ මීයෝ ටික කියනවා ඒ ගොල්ලන්ට මේ රට හදන්න පුළුවන් කියලා. කොහෙද ඒ ගොල්ලෝ හදන්නේ. මේ රටේ අභියෝග ජයගන්න පුළුවන් රාජපක්ෂලාට. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ අභියෝග ටික අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා.