කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් ඉහළ ආදායමක්

කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවෙන් ඉහළ ආදායමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විවිධ ක්ෂේත්‍ර වල නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය යටතේ කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදන ක්‍රියාවළිය සිදු කරනු ලබයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කරන කාලයේදී ලබාදුන් රුපියල් මිලියන 300 ක මුදලින්, කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාව ලාභ ලැබීම ඇරඹූ බව, කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. පී. වතූගේ මහතා ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ක්‍රියාත්මක කළ නව නිෂ්පාදන හා සංවර්ධන සැලැස්ම එයට හේතුවූ බවත්, ඒ අනුව ගෙවුණු 2021 වසර අවසන් වන විට රුපියල් මිලියන 98 ක ලාභයක් ලැබූ බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලදී.

2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගා වූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගන්නා බවද රජයේ කර්මාන්තශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. වර්ෂ 1849 දී අරඹනු ලැබූ මෙම කර්මාන්ත ශාලාව මේවනවිට සියවස් එකහමාර කට වැඩි කාලයක් පසුකරමින් සිටියි.

පළමුව වඩුවැඩ පොළක් ලෙස ඇරඹී පසුව,කම්මලක්, යකඩ වැඩ පොළක්, මැෂින් වැඩ පොළක්, ඉලෙක්ට්‍රික් වැඩ පොළක්, පාලම් වැඩ පොළක් සහ යන්ත්‍ර්‍ර සූත්‍ර නිපදවන වැඩ පොළක් බවට පරිවර්තනයවූ මෙහි මුල් නම 1971 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව ලෙසින් වෙනස්වී තිබේ. මේවනවිට එහි නාමය, කොළන්නාව රජයේ කර්මාන්තශාලාව යන්නයි.

රජය වෙනුවෙන්ම අරඹනු ලැබූ මෙම කරමාන්තශාලාව මේ වනවිට රජයේ වැඩවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් පොද්ගලික් අංශයටද සිය සේවාවන් විවෘතකර තීබීම විශේෂත්වයකි.