සත්‍ය දකින්න අකමැති අය සත්‍යට බයේ ඇමැතිකමින් ඉවත් කළා

සත්‍ය දකින්න අකමැති අය සත්‍යට බයේ ඇමැතිකමින් ඉවත් කළා

වීමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔවුන් දෙදෙනා මෙලෙස අමාත්‍ය ධුරවලින් ඉවත් කර ඇති බවයි.

ඒ අනුව ඔවුන් මෙතෙක් දැරූ අමාත්‍ය ධුර සඳහා නව පත් කිරීම් සිදුකරමින් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ද ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.

මේ අතර, ‘‘මුළු රට හරි මඟට“ මැයෙන් ආණ්ඩුවේ පක්ෂ 11ක සහභාගීත්වයෙන් ඊයේ පැවති සමුළුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

කර්මාන්ත අමාත්‍ය ධුරයේ කටයුතු කළ විමල් වීරවංශ මහතාත්, බලශක්ති අමාත්‍ය ධුරයේ කටයුතු කළ උදය ගම්මන්පිල මහතාත් ඔවුන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47/2 (ආ) ව්‍යවස්ථාව යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකරන බවයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

අදාළ ලිපිය ලද බව සනාථ කරමින් විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේ අතර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුර ඔවුන්ගෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ අමාත්‍ය ධුර සඳහා ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නව පත් කිරීම් සිදුකළා.

ඒ අනුව විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධුරය පිරිනැමුණේ එස්.බී. දිසානායක මහතාටයි.

උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති අමාත්‍ය ධුරය වෙනුවෙන් දිවුරුම් දුන්නේ ගාමිණි ලොකුගේ මහතායි.

ගාමිණි ලොකුගේ මහතා දැරූ විදුලිබල අමාත්‍ය ධුරයට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත් කෙරුණු අතර, ඇය ද ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ අතර, අදාළ දිවුරුම්දීමෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍ය ගාමිණි ලොකුගේ සහ එස්.බී. දිසානායක යන අමාත්‍යවරුන් මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් පළ කළා.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සිදුවන්නේ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11ක සහභාගීත්වයෙන් ‘‘මුළු රටම හරි මඟට“ මැයෙන් සමුළුවක් පැවැත්වූ පසුබිමකයි.

මෙම සමුළුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් විවිධ අදහස් පළ කළා.