තුන් වන වටයේ සාම කතා බිඳ වැටෙයි – යුක්රේනයට දැවැන්ත ප්‍රහාර

රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශයක දී ඊයේ (07) තුන්වන වරටත් පැවති සාකච්ඡා මගින් ද ප්‍රායෝගික සටන් විරාමයක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
සාකච්ඡා සුබවාදී බව යුක්රේනය ප්‍රකාශ කළ ද රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ව්ලැදිමීර් මෙඩින්ස්කි සඳහන් කළේ සාකච්ඡාවල සිය අපේක්ෂවන් සපුරාගත නොහැකි වූ බවයි.
මීළඟ වටයේදී කැපී පෙනෙන ඉදිරි පියවරකට එළඹීමට හැකි වනු ඇතැයි ඔහු කියා සිටියා.
රුසියාව විසින් මීට පෙර ප්‍රකාශයට පත් කළ සටන් විරාම දෙකක්ම සාර්ථක නොවූයේ සිවිල් වැසියන් රුසියානු ෂෙල් ප්‍රහාරවලට ගොදුරුවීම හේතුවෙන්.
නැවතත් එම තත්ත්වය දක්නට ලැබෙන අතර කීව් අගනුවර, මරියුපොල්, සුමි සහ කාර්කිව් නගරවල ගැටුම්වලට මැදි වූ සිවිල් වැසියන් ඉවත් කර ගැනීම දුෂ්කර වී ඇති බවයි යුක්රේනය ප්‍රකාශ කළේ.

සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සදහා මානුෂවාදී වේදිකා රුසියාව විසින් ප්‍රකාශයට පත් කළ ද එලෙස ඔවුන්ට ඉවත්වීමට ලබා දී ඇති මංපෙත් රුසියාව හෝ ඔවුන්ගේ අනුගාමික බෙලරූස් රාජ්‍යය වෙත ඇදෙන බව පසුව අනාවරණ වුණා.
මේ නිසා ආක්‍රමණිකයාගේ භූමිය වෙත යොමු වූ එම වේදිකා යුක්රේනය ප්‍රතික්ෂේප කළා.
මේ අතර, රුසියාව විසින් යුක්රේන ආක්‍රමණයේදී මධ්‍යයතන යුගයේ යොදා ගත් යුද ක්‍රමෝපාය භාවිත කරන බවට යුක්රේන නීතිවේදීන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඊයේ (07) කරුණු දැක්වූවා.
නගර වටලා සැපයුම් අවහිර කොට ජනයා දුර්වල කරමින් ඒවා අත්පත් කර ගැනීම මේ ක්රමෝපායයි.

