තෙල්-විදුලි ප්‍රශ්න අවසන් වන දිනය ලොකුගේ කියයි

මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථා ගබඩාවන්හි තෙල් ටොන් විසිදහසක් ඇති බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ පැවැසුවේය. සෑම නගරයකම ඉන්ධන පිරවුම්හල්වලට තෙල් ලබාදී ඇති බවද ඇමැතිවරයා පවසා සිටියේය.
තවත් තෙල් මෙට්‍රික් ටොන් තිස් දෙදහසක නැවකින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ (9 වැනිදා) සවස සිට සිදුවෙමින් පවතී.
ඊයේ (9 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඇමැති ගාමිණි ලොකුගේ,
‘තෙල් බෙදාහැරීම ගිය සෙනසුරාදා ඉඳන් ආරම්භ කළා. මේ මොහොත වන විට සෑම නගරයකම බෙදුම්හල්වලට තෙල් ලබාදීලා තිබෙනවා අපි. මම විශ්වාස කරනවා මේ අපි යන වැඩපිළිවෙළ සාර්ථක වුණාම ලබන සිකුරාදා, සෙනසුරාදා වන විට අපේ පිරවුම්හල්වල පෝලිම් නැතිවේවි කියලා.
ඒ වගේම විදුලිබල අමාත්‍යාංශවලටත් ඒ තාපාගාර පවත්වාගෙන යන්න අවශ්‍ය ඩීසල්, දැවි තෙල් අපි ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ හින්දා මේ විදුලිය කැපීම ක්රමාණුකූලව අඩු කරන්න පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු වුණේ ගිය පස්වැනිදා සිට විදුලිය කැපීමක් නැතුව යන්න. ඒ කටයුත්ත ආරම්භ කළත් තාමත් සමහර ස්ථානවල පොඩි පොඩි විසන්ධි කිරීම් තිබෙනවා. එහෙත් එළැඹෙන සඳුදා, අඟහරුවාදා වෙද්දි පරණ තත්ත්වයට විදුලිය, ඛනිජ තෙල් පත්වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා අපිට මුදල් අමාත්‍යාංශය ඉතාමත් ශක්තිමත් සහයෝගයක් දෙනවා.

