ලිට්‍රෝ හා ලාෆ් ගෑස් බෙදාහැරීම නවතයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16 වැනිදා) සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටියේ අංගණයේ තිබූ ගෑස් තොග ඊයේ (15 වැනිදා) පස්වරුව වන විට අවසන් වී තිබුණි. එහෙත් කර්මාන්ත සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවට ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇත. සතියකට ආසන්න කාලයක් මෙම නෞකාව නැංගූරම්ලා ඇති අතර ගෑස් ගොඩබෑම සඳහා තොග නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ. ගෑස් නැව මුදා ගැනීමට සහ හිඟ මුදල් ගෙවීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන දහයක මුදලක් අවශ්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ගෑස් මෙට්‍රික් ටොන් තිස්දාහක් (30,000) ක් පමණ ආනයනය කිරීමට සමාගම සැලසුම් කර තිබේ.
මේ අතර ලාෆ් ගෑස් සමාගමද ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම අද (16) සිට අත්හිටුවා ඇති බව පවසයි.
මේ වන විට ගෑස් සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම මෙයට හේතුව බව ඔවුන් සඳහන් කරයි.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිල දී ගැනීමට අවශ්‍ය විදේශ ණය අණකර විවෘත කිරීමට නො හැකි වී තිබේ.

