පින්බර මැදින් පොහෝ දිනය අදයි

පින්බර මැදින් පොහෝ දිනය අදයි

මැදින් පුන් පොහොය උදාවන්නේ මාර්තු මාසයේදීය. මෙම පොහොය ද ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි.

බුදුරජාණන් වහන්සේ සිය පියාණන් සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් බැහැදැකීමට විසිදහසක් සංඝයා වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත් පුරය බලා වැඩම කරන්නේ මැදින් පොහොය දිනකය. ඒ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුවය.

අභිමානවත් ශාක්‍යයින්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදීය. දායාද ඉල්ලා තමා පසුපසින් පැමිණි රාහුල කුමරුන් පැවිදි බවට පත් කරවූයේ ද නන්ද කුමරා අතට පාත්‍රය දී රජ ගෙදරින් දන් වළඳා ආපසු වැඩියේ ද මේ පොහොය දිනයේදීමය. පසුවදාට නියමිතව පැවති ගෙට ගෙවැදීමේ මංගල්‍යය ද, සරණ මංගල්‍යය ද, රාජ්‍යාභිෂේක මංගල්‍යය ද පසෙකලා නන්ද කුමරුන් කැටුව ගොස් පැවිද්ද දීම ගැනත්, සත් හැවිරිදි රාහුල කුමරා පැවිදි කරවීමත් නිසා සුද්ධෝදන රජතුමා බෙහෙවින් කැළැඹිණි.

රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ බුදු හිමියන් දෙවනුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව තුන්වනුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන් ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කෝපයට පත්විය. ඒ නිසාම දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේ ද මැදින් පුන් පොහෝ දිනයේදීය. යශෝධරාවන්ගේ සිත තුළ පැවති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේ ද උතුම් මැදින් පුන් පොහොය දිනයේය.