වත්මන් අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් ජනතා ව්‍යාපාරයකට පමණයි – අනුර කුමාර දිසානායක

වත්මන් අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් ජනතා ව්‍යාපාරයකට පමණයි – අනුර කුමාර දිසානායක

හුදු දේශපාලන පක්ෂයකට වත්මන් අර්බුදයෙන් රට ගොඩගත නොහැකි බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද එය කළ හැක්කේ බලවත් ජනතා ව්‍යාපාරයක් පිහිටුවා මේ අසාර්ථක ආණ්ඩුව පෙරළා දැමීමෙන් පමණක් බව පැවසීය.

ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී සංවිධානය කර තිබූ ජන රැළිය අමතමින් ඔහු කියා සිටියේ රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට ද මෙම ජනතා ව්‍යාපාරය දායක විය යුතු බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින්, ගොවීන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ඔහු පැවසීය.

රට සංවර්ධනය කිරීමට ඉහළ සිට පහළට සියලු දෙනාම සූදානම් විය යුතුයි.මේ සඳහා නිශ්චිත ක්‍රියාකාරී සැලැස්මක් තිබිය යුතුයි.පක්‍ෂ, ජාති, ආගම් භේදයකින් තොරව ප්‍රබල ජනතා ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි.

ජාතික ජන බලවේගය කර්මාන්තකරුවන් සහ සැබෑ ව්‍යවසායකයින් සමඟ නිරන්තර සාකච්ඡාවක නිරත වන බවත්, මේ රට සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දැනුම සහ කුසලතා දායක කිරීමට ඔවුන් කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.

දිසානායක කියා සිටියේ වත්මන් ආර්ථික අර්බුදය ස්වභාවික හේතුවක් නිසා නොව පසුගිය වසර 74 තුළ රජය විසින් අනුගමනය කරන ලද අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා බවයි.

“අපි ජීවත් වෙන්නේ දුක් විඳීමට අවශ්‍ය රටක නොවෙයි. අපේ රට ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක්. පසුගිය වසර 74 තුළ බලයේ සිටි රජයන් ජාතික ආර්ථිකය, දේශීය කර්මාන්ත සහ වැවිලි ක්ෂේත්‍රය විනාශ කර මේ අර්බුදයට පත් කළා,” යනුවෙන් ඔහු පැවසීය.