මේ රටේ පාලකයින්ට වඩා මම මේ රටට ආදරෙයි, රොෂාන් මහානාමගෙන් ඉල්ලීමක්

මේ රටේ පාලකයින්ට වඩා මම මේ රටට ආදරෙයි, රොෂාන් මහානාමගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවට අත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද සිය නිල ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

තමන් මෙම සටහන තැබීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙරට පාලකයින්ගේ අදුර්දර්ශී පාලනය සහ බල ලෝභීත්වය නිසා මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි ආර්ථික අවපාතයකට යාම මුල් කරගෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය දැකීමෙන් තමන් දැඩි වේදනාවට පත් වූ බවත්, එය කනගාටුදායක තත්ත්වයක් බවත් රොෂාන් මහානාම මහතා පවසනවා.

අවස්ථාවක් ලැබුණු විටදී පවා තමන් රට හැර නොගිය බැවින්, ඊට හේතුව තමන් සිය මව් රටට දැඩි ලෙස ආදරය කිරීම බව පෙන්වාදෙන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහන් කරන්නේ, රට පාලනය කරනු ලබන ඊනියා නායකයින් බොහෝදෙනෙකුට වඩා තමන් දේශප්‍රේමී අයෙකු බවයි.

එබැවින් මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ආගම, ජාතිය, දේශපාලන පක්ෂ ආදිය පසෙකලා එකම ජාතියක් ලෙස නැඟී සිටින ලෙස සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ම තමන් ඉල්ලා සිටින බව ද එම සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.

රට වෙනුවෙන් හඬ අවදි කොට, මේ අඳුරු කාලයෙන් සුන්දර මාතෘභූමිය ගොඩගෙන අනාගත පරපුරට සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ පොදු අරමුණ සමගින් වැඩ කිරීමට තමන් ද රටේ මහජනතාව සමඟ එක්ව නැඟී සිටින බවයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසන්නේ.