ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්ත දේවරාජන් මහතා සහ IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය ජනපතිවරයා විසින් එම කණ්ඩායමට පත්කර ඇත.

මෙම සාමාජිකයින් ජනපතිවරයා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකික ආයතන හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම, වර්තමාන ණය අර්බුදයට පිළියම් යෙදීමට සහ තිරසර ලෙස ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම ජනාධිපති උපදේශක කණ්ඩායමට පැවරී ඇති වගකීමය.