ජනතාවගේ ඉල්ලීමට කන් දීලා ජනාධිපති ඉල්ලා අස්වෙන්න – විද්වතුන් කරන ඉල්ලීම

ජනතාවගේ ඉල්ලීම්වලට සවන්දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට විද්වතුන් සහ වෘත්තිකයන් ගෙන් සමන්විත ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා සංවිධානය ඉල්ලා සිටී.
රටේ පවතින අර්බුදය විසඳීම සඳහා වූ පුළුල් සංවාදයකින් අනතුරුව මේ සම්බන්ධ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
පෙරේදා සහ ඊයේ රැස්වූ මෙම විද්වතුන් රටේ පවතින තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
මෙහිදී වත්මන් ආර්ථික හා සමාජ අර්බුදයට තුඩුදුන් හේතු,
මේ හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක මෙන්ම වත්මන් අර්බුදය විසඳා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග මෙහිදී අවධානයට ලක්ව තිබේ.
මෙහිදී ඒකමතිකව සම්මතවී ඇත්තේ ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට ඇති විධිවිධාන, ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව ද මෙහිදී එකඟවූ තවත් කරුණකි.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය විසුරුවා හැරෙන බැවින් ඉන් අනතුරු ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියකට මෙහදී එකඟවී තිබේ.
එමෙන්ම රටේ ආර්ථික අර්බුදය විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කිරීමට වහාම ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් මෙම විද්වතුන් ඉල්ලා තිබේ.

