චමින්ද වෙනුවෙන් අරගලකරුවන් අරලියගහ මන්දිරය සුදු කොඩිවලින් සරසයි

රඹුක්කන විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින් අද (23) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් දක්වා තිබෙනවා.
ඒ අනුව අරලියගහ මන්දිරය ඉදිරිපිට රතු පැල්ලම් සහිත සුදු කොඩිවලින් සරසා මෙම විරෝධතාව දක්වා තිබෙනවා.
මේ අතර රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මියගිය චාමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) පස්වරු 4.30ට පමණ සිදුකෙරුණි.
ඒ හිරිවඩුන්න කරදගස්තැන්න පවුලේ සුසාන භූමියේදීය.
චාමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සඳහා ස්වාමීන් වහන්සේලා සියක් නමක් වැඩම කර තිබුණි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඊයේ (22) අළුයම ඔහුගේ නිවසට රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්විය.
පසුගිය 19 වනදා රඹුක්කන නගරයේ දී ඉන්ධන මිල ඉහළයෑම සහ ඉන්ධන හිඟයට විරෝධය පාමින් පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් චාමින්ද ලක්ෂාන් ජීවිතක්ෂයට පත් වුණි.







