ගුරු, විදුහල්පතිවරු අද ලෙඩවෙයි

ගුරු, විදුහල්පතිවරු අද ලෙඩවෙයි

ගුරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරුන් අද අසනීප නිවාඩු වාර්තා කොට වර්ජනයක නිරත වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඉන්ධන නොමැතිකමින් සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් සිසුන්ට, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පාසලට පැමිණීමේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි එම වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ.

ඒ අනුව සිසුන් ඔවුන්ගේ නිවෙස්වලට ආසන්න පාසල්වලට යොමු කරන ලෙසත් ගුරුවරු ආසන්න පාසල වෙත යොමු කරන ලෙසත් නැතහොත් ඊට විකල්ප විසදුම් ලබාදෙන ලෙසත් මීට පෙර ගුරු, විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, එම කරුණු සහ වර්තමාන ආර්ථික, දේශපාලන අර්බුද නිර්මාණය කර ඇති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි එම සන්ධානයේ නියෝජිත ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ.