අප්‍රේල් මාසයේ දී උද්ධමනය 29.8% දක්වා අඛණ්ඩව ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශනය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය, 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 22.0 දක්වා ඉහළ ගිය බවයි ඔවුන් නිවේදනය කළේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති සියයට 18.7හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 මාර්තු මාසයේ පැවති සියයට 30.2හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 මාර්තු මාසයේ පැවති සියයට 13.4හි සිට 2022 අප්‍රේල් මාසයේ දී සියයට 22.0 දක්වා ඉහළ ගියා.
2022 අප්‍රේල් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 9.25ක් ලෙස වාර්තා වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම භාණ්ඩ මිල ගණන් පිළිවෙළින්, සියයට 4.95කින් සහ සියයට 4.31කින් ඉහළ යෑම මේ සදහා හේතු වී තිබෙනවා.
ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු/පිළිසකර කිරීම්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගිය අතර ආහාර කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළ ගියා.



