ප්‍රචණ්ඩත්වය ඇති කරපු සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

ගාලුමුවෙදාර විරෝධතා භූමියට කඩා වැදී එහි විරෝධතාවයේ නිරත වූවන්ට අමානුෂික ලෙස පහරදී ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කළ සියලුම පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගෙන තිබේ.
එසේ ප්‍රචණ්ඩත්වය දියත් කළ පුද්ගලයන්ට නිදැල්ලේ සිටීමට කිසිදු ඉඩක් නොදෙන බවද ඊයේ (9දා) ඇතිවූ මෙම සිද්ධිය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකින බවද, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසීය.
එම ප්‍රචණ්ඩකාරී පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තෙක් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක හෝ හිංසන ක්‍රියාවක නිරත නොවන ලෙස හා පෞද්ගලික හෝ පොදු දේපළකට හානි නොකර සන්සුන්ව සිටින ලෙස ශ්‍රී ලාංකික ජනතාවගෙන් තමා ඉතා බැගෑපත්ව හා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින බවද පීරිස් මහතා පැවසීය.
ගාලුමුවෙදාර විරෝධතා භූමියේ ඇති වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා මැදිහත්ව කටයුතු කළ සියලුම නීතිඥවරුන්ට තමන්ගේ කෘතඥතාව පුද කරන බවද සභාපතිවරයා පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ සමඟ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක නිරතව සිට පිටත්ව ගිය පිරිසක් මෙම ප්‍රචණ්ඩත්වය සිදු කර ඇති බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

