ජනපති ක්‍රමය අහෝසිකිරීමට ඉඩ ලබාදෙනවා -19 නැවත බලාත්මක කරනවා

පාර්ලිමේන්තුවේ බහුතරය හා රටේ විශ්වාසය දිනාගත හැකි අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් මේ සතිය ඇතුළත පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සියලු පක්ෂ නායකයින් සමග කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේ, පාර්ලිමේන්තුවට වඩාත් බලතල හිමිවන ආකාරයට 19 වැනි සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට ද කටයුතු කරන බවයි.
තව ද පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දෙන බව ද ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් කියා සිටියේ ය.
විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර පත්වන නව රජය රට ස්ථාවර කිරීමෙන් පසු සියලු දෙනා සමග සාකච්ඡා කර ඒ සඳහා කටයුතු කිරීමටත් ඉඩ ප්‍රස්ථාව සලසා දෙන බව ද ජනාධිපතිවරයා පැවසී ය.
අතිශය දුෂ්කර අවස්ථාවේ රට කඩා වැටීමට ඉඩ නොතබා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සියලු දේ සැපයීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ට සහය වන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා සියලු ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ, සාමකාමීව හා කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි.

