ඊශ්‍රායල හමුදාව අල් ජසීරා මාධ්‍යවේදිනියක ඝාතනය කරයි

අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදිනියක ඊශ්‍රායල හමුදා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල පලස්තීන ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටී ෂිරීන් අබු අක්ලේ මෙලෙස ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කර ඇති බව පලස්තීන සෞඛ්‍ය අංශය තහවුරු කර තිබෙනවා. ඇය පලස්තීන කලාපයේ සිට යුද වාර්තාකරණයේ යෙදී සිටි බවයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර නීති හා සම්මතයන් උල්ලංඝණය කරමින් ඊශ්‍රායල හමුදා මිනිමැරුමක් සිදු කර ඇති බව පලස්තීන බලධාරීන් පෙන්වා දෙනවා. අල් ජසීරා පුවත් සේවයේ අරාබි අංශයේ ප්‍රබල චරිතයක් වන ඇය 51 හැවිරිදි වියෙහි පසුවූවා. පලස්තීනයේ බටහිර ඉවුරේ නැගෙනහිර ප්‍රදේශයේ ජෙනින් සරණාගත කඳවුරේ මෙහෙයුමක් සිදු කළ බව ඊශ්‍රායල හමුදා අංශ තහවුරු කළා.
එහිදි ඊශ්‍රායල හමුදා අංශ සහ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් අතර ඇති වු වෙඩි හුවමාරුවකින් ඇය ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවයි වාර්තා වන්නේ.



