නැවත යුද්ධයක් මේ රටේ ඇති නොවීමට සියලු දෙනා වගබලා ගත යුතුයි

නැවත යුද්ධයක් මේ රටේ ඇති නොවීමට සියලු දෙනා වගබලා ගත යුතුයි

යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහි කරන ගමන්ම, නැවත එවැනි සිදුවීම් නොවීමට අපි වගබලා ගත යුතු බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දශක තුනක ත්‍රස්තවාදය අවසන් කොට මව්බිමේ විජයග්‍රහණයේ වසර 13 ක මතකය සිහිපත් කරමින් රණවිරු ගුණ සමරු පදනම සහ විරු පවුර විසින් සංවිධානය කළ මතක සැමරුමට එක්වූ රණවක මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,

“රණවිරුවන් එදා නන්දිකඩාල් කලපුවේ දී මේ ජයග්‍රහණය ලබා දැන් අවුරුදු දහතුනක්. අපි අමතක කරන්න හොඳ නෑ. ඒ පිරිස වගේම තවත් අති විශාල පිරිසක් ආබාධිත තත්වයට පත්වුණා. ඒ වගේම අති විශාල වන්දි ගෙවීම් කරන්න ඔවුන්ට සිද්ධ වුණා. තමන්ගේ ජීවිතවලින්. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සිවිල් ජනතාව මේ ගැටුමේදී විවිධාකාරයේ මිය මියයාමට ඔවුන්ට සිද්ධ වුණා. ඒ වගේම විදේශ හමුදා මෙරටට පැමිණීම නිසා සහ තවත් ගැටුම්කාරී තත්වයන් නිසා ඇත්තටම රටේ ජනතාව සාමාන්‍ය ජනතාවත් ලක්ෂයකට අධික පිරිසක් මේ ගැටුම් නිසා මියගිය බව අපි අමතක නොකළ යුතුයි. අපි ඒ සියලු දෙනාවම මේ අවස්ථාවේ සිහි කරන්නේ. නැවත එවැනි සිදුවීම් සිදු නොවී වළක්වා ගැනීම සඳහා.

එල්ටීටීඊ ප්‍රහාරයක් ගැන විවිධ ප්‍රචාර යනවා. ආරක්ෂක අංශ ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබෙනවා. අපි ඔවුන් විශ්වාස කරනවා. එල්ටීටීඊ සංවිධානයේ පිරිස් 12000 ක් පමණ දැන් සිවිල් ජීවිතවලට ඇතුල් වෙලා තියෙනවා ඔවුන්ටත් මේ රටේ ඒ සිවිල් ජීවිත වල ඉදිරියට යන්න ඔවුන්ගේ දූ දරුවන්ටත් අයිතියක් තියෙනවා අපි ඒකත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඒ නිසා නිරන්තරයෙන් මෙවැනි බිය පතුරුවන්නෙ නැතිව බුද්ධි අංශ වල වගකීම තමයි එවැනි නැගිටීමක් කරන්න සුළු පිරිසක් හරි ක්‍රියා කරනවා නම් ඒ ගැන ප්‍රචාරයන් කරලා නැවත වතාවක් මේ රණවිරුවන් විකුණන් කාලා මේ අර්බුදයෙන් මිදෙන්න පාර හදා ගැනීමට කටයුතු කිරීම ගැන අපේ විරෝධය අපි පළ කරනවා.

රණවිරුවන් පහුගිය අවුරුදු 13 දි රාජපක්ෂ පවුල විසින් විටින් විට තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා විකුණුවා. විකුණලා ඒ රණවිරු පවුල් විතරක් නෙවෙයි සිංහල, දෙමළ, මුස්ලිම් පවුල් 55 ලක්ෂයක් කොල්ල කෑවා. ඒ කොල්ලකෑමේ ප්‍රතිඵල අද අපි හැමෝම ඉස්සරහා තියෙනවා. අද ඒ රණවිරු පවුල් හාමතේ. රටේ අනෙකුත් ජනතාවත් හාමතේ. තෙල් නෑ, විදුලිය නෑ. ඒ වගේම ගෑස් නෑ. කන්න නෑ, බෙහෙත් නෑ. ඒ මහා ජාතික මංකොල්ලය ගැන අපි මතක් කරන අතරේ කියන්න ඕන, මින් ඉදිරියට රාජපක්ෂවරුන්ට පමණක්, මේ රණවිරුවන් සමරන්න බෑ. මොකද රණවිරුවන් පෙන්නලා, මේ රට කොල්ල කාලා, මේ රටේ ධනය, ගෙනිහිල්ලා ඒවායේ ප්‍රතිඵලයක් හැටියට මේ රණවිරු පවුල් ජීවතුන් අතර සිටින රණවිරුවන් සහ රටේ සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවම ණයගැති භාවයට, ඒ වගේම බංකොලොත් භාවයට පත් කරලා, මේ රට අපකීර්තිමත් රටක් බවට, ලෝකය ඉදිරියේ සනිටුහන් කරලා තිබෙන නිසා, තවදුරටත් ඔවුන්ට රණවිරුවන් හැටියට කටයුතු කරන්න බැහැ.

මහින්ද රාජපක්ෂ මහත්මයාට තවදුරටත් හමුදා කඳවුරු ඇතුලේ හැඟවිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුට නිල නිවාසයක් තියෙනවා. ආරක්ෂාව දීම තමයි ආරක්ෂක අංශවල වගකීම. ඒ නිල නිවාසෙට ඇවිල්ලා ඔවුන් කටයුතු කළ යුතුයි. එහෙම නැතුව මේ රණවිරුවන්ට මුවා වෙලා තවදුරටත් තමන්ගේ කටයුතු කරගෙන යාමට ඔවුන්ට අයිතියක් නෑ. ඒ නිසාම නැවත අවධාරණය කරනවා රාජපක්ෂ පවුලට මේ යුධ ජයග්‍රහණය හෝ රණවිරුවන් පිළිබඳව කතා කරන්න කිසිදු අයිතියක් නෑ. රණවිරු පවුල් ඇතුළු මේ රටේ පවුල් 55 ලක්ෂයකින් කොල්ලකා ගත්ත මුදල් මේ රටට ලබාදීලා දුක් විඳින ජනතාව මුදා ගැනීමට අපි ඉදිරියේදී කටයුතු කරන බව මේ අවස්ථාවේදී සපථ කර සිටිනවා.”