කැන්ගරු පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී ලාංකීය කාන්තාව

ඊයේ (21) පැවති ඔස්ට්‍රෙලියානු මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය කළ අතර ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ඇන්තනී ඇල්බනීස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණා.
ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය පරදවා මෙලෙස ඔස්ට්‍රෙලියාවේ කම්කරු පක්ෂ රජයක් බිහි වී ඇත්තේ දශකයකින් පමණ පසුවයි.
ජයග්‍රාහී කම්කරු පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් කියා සිටියේ ජනතාව වෙනසක් උදෙසා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
මෙවර ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු තරග වැදුණු අතර, ඔවුන් තුන්දෙනාම ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් තරග වැදීම විශේෂත්වයක්.
එහිදී හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාවේ උපත ලද කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කළේ ලිබරල් සන්ධානය නියෝජනය කළ රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමින්.
ඔහු ද ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක්. එහිදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඡන්ද 39,185 ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 57.09 ක් ලබාගත් අතර, රාන්ජ් පෙරේරාට ඡන්ද 28,777 ක් එනම්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 42.91 ක් හිමිවුණා.
34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රෙලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාවයි. ඇය වයස අවුරුදු 11 ක්ව සිටියදී සිය දෙමාපියන් සමඟ 1999 වසරේ ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වී ඇති අතර, සත්කාරක සේවා සහ අධ්‍යාපන සහාය පිළිබඳ උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කොලින් අසුනට ලිබරල් සන්ධානයෙන් තරග වැදුණු ශ්‍රී ලාංකික විරෝෂ් පෙරේරා ඡන්ද 12,543 ක් එනම්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 34.86 ක් ලබාගනිද්දී කම්කරු පක්ෂයේ ප්‍රතිවාදියා වූ ඇන්ඩෲ ජයිල්ස් ඡන්ද 26,252 ක් එනම්, සියයට 65.14 ක් ලබමින් එම අසුන ජයග්‍රහණය කළා.
59 හැවිරිදි නව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (22) උදෑසන දිවුරුම් දීමට නියමිත අතර, ජපානය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ නායකයන් සමඟ පැවැත්වෙන සමුළුවක් සඳහා හෙට (23) ටෝකියෝ බලා නික්මීමට නියමිතයි.


