අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

අටුළුගම දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තා වෙන්නේ.

අදාළ පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති තැනැත්තෙකු වන අතර ඔහු පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.

පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ පුද්ගලයා ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

ඉන් අනතුරුව මෙම දැරිය ඔසවා ගත් සැකකරු ඇය රැගෙන කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඉන් අනතුරුව දැරියට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ ද ඒ සම්බන්ධයෙන් තමන් බිය වූ බවත් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු දැරිය ඝාතනය කිරීමට පෙළඹුණේ යම් හෙයකින් එම දැරිය මෙම සිද්ධියය අනාවරණය කරනු ඇතැයි මතු වූ බිය හේතුවෙන් බවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් ඝාතනයට ලක්ව ඇති අවුරුදු 9ක් වයසැති අටලුගම ෆාතිමා අයේෂා දැරිය අපයෝජනයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂාවේ අණාවරණය වී තිබේ.

ඇයගේ සිරුර පිළිබඳව කළ මරණ පරීක්ෂණයේදී මේ බව හෙළිව තිබේ.

පසුගිය 27 වන දා බණ්ඩාරගම – අටළුගම ෆාතිමා අයීෂා අක්‍රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.

ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.