අයිෂා දැරිය ඝාතනයට සැකකරුවෙක් පොලිස් භාරයට – ඇඳ යට මඩ ගෑවුණු සරමකුත්

ඝාතනයට ලක් වූ බණ්ඩාරගම – අටළුගම 09 හැවිරිදි දැරිවියගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඉන් එක් සැකකරුවෙකු කීර කොටුකාරයෙකු වන අතර, ඔහුගේ නිවසෙහි ඇඳ යට තිබී මඩ ගෑවුණු සරමක් ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
පොලිසිය පැවසුවේ, කීර කොටුවට අල්ලපු ඉඩම වන්නේ ඝාතනයට ලක් වූ දැරිවියගේ මෘත ශරීරය හමු වූ වගුරු බිම බවයි.
ඝාතනයට ලක්වූ ෆාතිමා අයීෂා අක්රම් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29) සිදු කෙරුණා.
ඒ, පානදුර මූලික රෝහලේදීයි.
මේ අතර, දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් පොලිස් කණ්ඩායම් 5ක් ඒකාබද්ධවයි.
ඒ අනුව ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන මෙන්ම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ද අවදානය යොමුකරමින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඊට අමතරව ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුණු ඔස්සේ ද දුරකථන දත්ත වාර්තා පිළිබද විමර්ශන සිදු කරන බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළේ.
එමෙන්ම මෙම දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ප්‍රදේශයේ එළවළු කොරටුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ තවත් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.
පසුගිය 27 වන දා බණ්ඩාරගම – අටළුගම ෆාතිමා අයීෂා අක්රම් දැරිය අතුරුදන් වී තිබුණේ නිවස ආසන්නයේ වෙළදසැලකට කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටින අතරතුරයි.
ඊට පසුදින පස්වරුවේ දැරියගේ සිරුර, නිවසට යාබද වගුරු බිමක තිබී සොයාගැනුණු අතර, සිද්ධියට අදාළව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

