ගෝඨාභය ඉවත්වෙලා බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි

විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහා සංඝරත්නයේ මතය බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
ආණ්ඩුවේ මතය ද මෙය බව ත් මුලින් යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැදගත් බව ත් ඒ මහතා කීය.
මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් සමග කළ සාකච්ඡාවකින් පසුගිය දා පස්වරුවේ රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.
එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද කීවේ ය.
පසුගිය කාලයේ කොමිෂන් සභා ක්‍රියාත්මක වුණාට ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වුණේ නැහැ. විසි වන සංශෝධනය මඟින් ප්‍රසම්පාදන හා විගණන කොමිෂන් සභා දෙක ම අහෝසි කළා. ඒකෙන් අදහස් කරන්නේ දූෂණ වංචා කළාට කමක් නැහැ කියන එකයි. පාලිතයා පමණක් නොව පාලකයාත් නීතියට යටත් විය යුතුයි.
මම එද ත් අද ත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලන පරිණත භාවයකින් තොර අසමත් පුද්ගලයෙක් කියලයි. ඔහු සමත් පුද්ගලයෙක් නම් කිසි දිනක ආණ්ඩුව පවත්වාගෙන යනවා මිසක අපිට අඬගහලා ඇමැතිකම් දෙන්නේ නෑ. නමුත් මෙතැන යම් ගැටලුවක් තිබෙනවා මේ වනවිටත් පොහොට්ටුවේ බලය පවතින්නේ බැසිල් රාජපක්ෂ අතයි.
යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ඉවත් කොට බැසිල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුවහොත් රටට අත්වන ඉරණම පිළිබඳව අපට හිතාගන්නවත් ලැබෙන්නේ නෑ.
මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ දේශපාලනඥයන් මුණගැසීම ප්‍රතික්ෂේප කොට ඇති බැවින් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි පහමුණේ සුමංගල නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු බැහැදැකීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය.

