දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත.

එමෙන් ම, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

2021 වසරේ ජූනි 24 වන දා ආර්. දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරිණි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට 2016 වසරේ සැප්තැම්බර් 8 වන දා මරණ දඬුවම නියම කෙරිණි.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමට‍ගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා ප්‍රියන්ත ජානක බණ්ඩාර යන පස් දෙනාට ය.

මෙම නඩු තීන්දුව 2/1ක් ලෙස බෙදුණු නඩු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකුගේ තීන්දුව වූයේ මෙම වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදීම ය.

2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව, වල්පොළ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.