රුසියාව, ශ්‍රී ලංකා තානාපතිනියට අප්‍රසාදය පළ කරයි – වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි

රුසියානු Aeroflot ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
ඒ, Aeroflot ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙනි.
මේ අතර, ශ්‍රී ලංකා බලධාරීන් විසින් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව, ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා, සිය අප්‍රසාදය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
රුසියානු Aeroflot ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේ ය.
කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කළේ, අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරවයි.
මෙම වාරණ නියෝගය ලබන 16 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් ය.
පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ, වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවය.
එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ ය.

