රනිල් අද ඔය පුටුවේ ඉන්නේ මම හින්දා – සරත් ෆොන්සේකා

රනිල් අද ඔය පුටුවේ ඉන්නේ මම හින්දා  – සරත් ෆොන්සේකා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට පිංසිද්ධ වෙන්න බව ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ වන බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා,

“ගරු අගමැතිතුමා මෙතනදි කිව්වා, මං හිතනවා මට පොඩි පහරකුත් ඇන්නා. කින්ඩියක් දාලා මාව පාර්ලිමේන්තුවට ගත්තා කියලා එතුමා කිව්වා. ඔව් පාර්ලිමේන්තුවට ගත්තා. නමුත් 2010දි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් හොයාගන්න බැරිව ඉන්නකොට යුද්ධයට විරුද්ධව ලෝක වටේ ගිහිල්ලා රට වටේ ගිහිල්ලා ර‌ටේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න කොට යුද්ධ දිනපු අය ජයග්‍රහණය දැක්කම, අපේක්ෂකයෙක් සොයා ගන්න බැරිව ඉන්නකොට මම ඇවිල්ලා බෙල්ල තියපු නිසා එතුමා, මට කෙළෙහි ගු‌ණේ දැක්කුවා කියලා මම හිතන්නේ.

ඒ වගේම තව දෙයක් මම සත්භාවයෙන් මතක් කරන්න ඕනේ ගරු අගමැතිතුමනි ඔබතුමා අද ඔය පුටුවේ ඉන්නේ මට පිංසිද්ධ වෙන්න. මොකද ඔබතුමා කැදවන්න පැය 3කට කළින් ගරු ජනාධිපතිතුමා මාව කැඳවලා මට කිව්වා දැන් බාරගන්න අගමැති ධූරය වහාම භාරගන්න කියලා. මම එතුමාට කොන්දේසි 4ක් 5ක් දැම්මා. ඒ කොන්දේසි අනුව කටයුතු කරනවා නම්, පසුබිම හැදුවොත් මම භාරගන්නම් කියලා කිව්වා. හැබැයි අපේ පක්ෂයේ බහුතරයකගේ අනුමැතිය ලැබුනොත් පමණක්. ඒ හින්දා ගරු අගමැතිතුමා මටත් පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න, පිං පොඩ්ඩක් අනුශාසනා කරන්න ඔය පුටුවට යන්න පාර කැපුනෙ මගේ ක්‍රියාදාමය හරහා කියලා එතුමා තේරුම් ගන්න ඕනේ” යනුවෙන් පැවසීය