රුසියානු විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

එරෝෆ්ලොට් ගුවන් යානය මුදා හැරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි.
කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේ දින 4ක් තිස්සේ රඳවා තිබූ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය ඊයේ (06) පස්වරුවේ මොස්කව් නුවර බලා පිටත්ව ගියා.
මගීන් 191 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 32 දෙදෙනෙකු සමඟ එම යානය අධිකරණ නියෝගයක් මත මෙරට තුළ රඳවාගනු ලැබුවේ පසුගිය 2 වන දායි.
අයර්ලන්ත සමාගමක් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළා.
කෙසේ වෙතත් නීතිපතිවරයා ඊයේ (06) ඉදිරිපත් කළ මෝසම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකාබැලීමෙන් අනතුරුව රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් යානයට මෙරටින් පිටවීම වලක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුන්ග තමන් විසින් ලබා දුන් වාරණ නියෝගය අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.
ගුවන් යානය රඳවා ගැනීමත් සමඟ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එරෝෆ්ලොට් ගුවන් සමාගම පසුගිය දා පියවර ගත්තා.

