21ට කලින් රටේ ප්‍රශ්න විසඳන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු අගමැතිට කියයි

ව්‍යවස්ථා සංශේධනයක් සිදු කිරීමට පෙර රටේ ආර්ථික ප්‍රශ්න විසදිය යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදීයි.
ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම හමුවේ කරුණු පැහැදිලි කර තිබෙනවා.
එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පමණක් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇති බව යි වාර්තා වන්නේ.
මේ අතර, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට තවත් සංශෝධන කිහිපයක් ඇතුළත් කරමින් එය ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනා ද අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍යවරුන්ට එළඹෙන දින කිහිපය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එසේම, අමාත්‍යවරුන්ගේ අමාත්‍ය වැටුප වසරක් යනතුරු ලබා නොගැනීම සහ වරප්‍රසාද අඩුකර ගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

