ජොනීගේ පෙත්සම අද කැඳවයි

තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (09) කැඳවීමට නියමිත යි.
පසුගිය මැයි මස 09 වන දා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති වූ කලහකාරී සිද්ධින් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු දැනටමත් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා.
මේ අතර, පසුගිය මස 9 වන දා ගාලුමුවදොර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියම වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඊයේ වරෙන්තු නිකුත් කළා.
ඒ, එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පදිංචි ව සිටි නිවාස මග හැර සැඟ වී සිටින බව සඳහන් කිරිමත් සමඟ යි.
පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සැකකරු පදිංචිව සිටි වැල්ලවත්ත, වත්තල බත්තරමුල්ල, නුගේගොඩ, උඩහමුල්ල යන ප්‍රදේශවල පිහිටි නිවාස පරීක්ෂාවට ලක්කළ බවත් එහෙත් ඔහු එහි නො සිටි බව ද ඇය අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
විමර්ශන කණ්ඩායම් මගහරිමින් සැඟ වී සිටින මෙම සැකකරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කියා සිටියා.
එමනිසා නීතිය මගහරිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

