ජොනී භාර වූ සැනින් ඇප ලැබෙයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (ජූනි 9) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර විය.
අද රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වන ලෙස අභියාචනාධිකරණය අද ඔහුට නියෝග කළේ ය.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය.
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට මැයි 9 වන දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (ජූනි 8) වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගය සඳහා ඔහු ලබන බදාදා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වේ.
ඊට අමතරව, ඔහු ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගය ලබන 21 වන දා ආරම්භ කිරීමට නියමිත ය.

